ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් ‘අදානි’ සමූහ ව්‍යාපාරය තමන් කොළඹ වරාය ව්‍යපෘතිය සඳහා අමෙරිකානු සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන්(IDFC) සිදු කළ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Adani Ports and Special Economic Zone Ltd සමාගම එම සංවර්ධන කටයුතු සඳහා අදානි සමාගමේ අභ්‍යන්තර අරමුදල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඊයේ (10) ප්‍රකාශ කළ බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.
කොළඹ වරායේ බටහිර පර්යන්තය CWIT සංවර්ධනය කරනු ලබන්නේ Adani Ports, John Keells Holdings Plc සහ Sri Lanka Port Authority (SLPA) හි එකමුතුවක් විසින්.
මීට අදාළව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ගැඹුරු ජල බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ආධාර කිරීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 553 ක ණයක් ලබා දීමටයි එකඟ වී තිබුණේ.
පසුගිය මාසයේ, එක්සත් ජනපද බලධාරීන් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ තවත් හත් දෙනෙකුට ඉන්දීය නිලධාරීන්ට අල්ලස් දීමේ ඩොලර් මිලියන 265 ක යෝජනා ක්‍රමයක කොටස්කරුවන් වූ බවටත්, එහි අරමුදල් රැස් කිරීමේදී එක්සත් ජනපද ආයෝජකයින් නොමඟ යැවූ බවටත් චෝදනා එල්ල කරනු ලැබුවා.
කෙසේ නමුත් අදානි සමාගම මුදල් ප්‍රතික්ෂේප කිරීමේ තීරණය දැනුම් දී ඇත්තේ සිය සමාගමට එල්ල වූ අල්ලස් චෝදනා හමුවේ අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ මුදල ලබා දීම සම්බන්ධව යළි ඇගයීමක් සිදුකරන බව අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව පවසා ඇති පසුබිමක බව සඳහන්.
ව්‍යාපෘතිය අවසන් වීමට ආසන්න බැවින්, ව්‍යාපාරයෙන් 51%ක් හිමි Adani Ports, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව වෙතින් අරමුදල් නොමැතිව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට තෝරා ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සිය අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් දක්වා ඇත්තේ.
එමෙන්ම ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට පර්යන්තයේ 34% ක කොටස් හිමිවන අතර ඉතිරි කොටස රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි.
තව ද මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2025 වසරේ පළමු කාර්තුව වන විට වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම නව පර්යන්තය ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානය කරගනිමින්, ප්‍රසාරණය වන වෙළඳපොලවල්වලට සමීප වීම ප්‍රයෝජනයට ගනිමින් බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වන ආර්ථිකයන් සඳහා පහසුකම් සැපයීමක් සිදු වෙනවා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය (CWIT) ව්‍යාපෘතිය 2021 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද අතර, Adani Ports විසින් කොළඹ වරායේ හැකියාවන් පුළුල් කිරීම සඳහා USD මිලියන 700කට අධික මුදලක් ආයෝජනය කිරීමට එකඟ වෙමිනුයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ John Keells Holdings සමඟ ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ.
CWIT යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ ගැඹුරුම බහාලුම් පර්යන්තය වන අතර එහි දිග මීටර් 1,400 ක් සහ එහි ගැඹුර මීටර් 20ක් බව සඳහන්.