මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට ද භූ කම්පන බලපෑමක් ඇති වීමෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති බව සඳහන්.
තායි බලධාරීන් පවසා ඇත්තේ එම ගොඩනැගිල්ලේ සිටි එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බවයි වාර්තා වෙන්නේ.