පැහැරගෙන යමින් තිබූ ලොරි රථයක් කඩුවෙල ප්‍රදේශයේ දී එම රථයට වෙඩි තබා සිය භාරයට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
නොරොච්චෝලේ සිට සුපිරි වෙළඳසැලක් සඳහා එළවලු පටවාගෙන යමින් තිබූ ලොරි රථයක් වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවතා ලොරියේ රියදුරු තේ පානය කිරීමට ගිය අවස්ථාවේ දීයි කිසියම් පුද්ගලයෙක් ලොරි රථය රැගෙන පළා ගොස් ඇත්තේ.
පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට දැනුම්දී, ඇති අතර එම ලොරියේ තිබූ GPS පද්ධතිය පිළිබදව පොලීසිය දැනුම්වත් කර තිබෙනවා.
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරිය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද, එය ව්‍යාර්ථ වී තිබෙන බව කියයි.
පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් ලොරිය පසුපස හඹාගොස් තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩිපහර කිහිපයක් එල්ලකර තිබෙනවා.
කෙසේ වෙතත් එහි දී මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇති බවයි පැවසෙන්නේ.
පළා යන අතරතුර ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ඉන් අනතුරුව කඩුවෙල නගරයේ දී තවත් ලොරි රථ යොදාගනිමින් ලොරිය පැමිණෙන මාර්ගය හරස් කර තිබෙනවා.
එහිදී මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයට ද පැමිණ නැවත හැරීයාමට සැරසී ඇති අතර එහිදී පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ල කර එය නවතා ගැනීමට කටයුතු කර ඇත්තේ.
ඉන් පසුව කඩුවෙල අධිකරණය සංකීර්ණය අසල දී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පළා යාමට උත්සාහ දැරූ අවස්ථාවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.
එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක්ද සොයාගෙන තිබෙනවා
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.