වර්තමාන රජය විසින් ක්රියාත්මක කරනු ලබන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සංකල්පයට අනුව “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහනට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වැඩසටහන් ගණනාවක් අද (11 ) දින නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මෙහි සමාරම්භය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ බන්ධනාගාර පරිශ්රය තුළදී සිදු වුණා.
මෙම ක්රියාවලිය යටතේ මහජනතාවට බන්ධනාගාර දෙපාර්තමේතුව පිළිබද යෝජනා හා අදහස්, බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් සම්බන්ධව පැමිණිලි හා ඊට අදාළ ලේඛන උඩුගත කිරීම සදහා බන්ධනාගාර නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk යන වෙබ් අඩවියේ පැමිණිලි හා ප්රශංසා යන යොමුව වෙන්කර තිබෙනවා.
එම ක්රියාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ඉතා කාර්යක්ෂමව සිදුකරනු ලබන බවයි පැවසෙන්නේ.
එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් සඳහා රාජකාරිමය වශයෙන් පුද්ගලික ලිපි ගොණු සම්බන්ධයෙන් ඇති ගැටළු හා දුක් ගැනවිලි විමසා බැලීම සඳහා නව ඒකකයක් බන්ධනාගාර මූලස්ථානය තුළ පිහිටුවා තිබෙනවා.
මෙම වැඩසටහනේ තවත් එක් පැතිකඩක් ලෙස පාරිසරික පවිත්රතාවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයන් තුළ අද දින සිට සතියක කාලයක් ක්රමානුකූලව පවිත්රතා කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.