පසුගිය මැතිවරණ සමයන්හි වියදම් වාර්තා ලබා නොදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිවරණයක ප්‍රතිඵල නිකුත් කර දින 21 ක් ඇතුළත පිළිගත් දේශපාලන පක්ෂයේ, ස්වාධින කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ ආදයම් හා වියදම් සම්බන්ධව වාර්තා මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරියා වෙත භාරදීම සිදු කළ යුතු වනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රතිපාදන ප්‍රකාරව 2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණ වියදම් වාර්තා භාරදීම සිදු කළ යුතු නමුත් එම වාර්තා මෙතෙක් භාරදීමට ක්‍රියා නොකරන ලද අපේක්ෂකයින් 1042 කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් 197 දෙනෙක් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිසන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධික්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.
කොට්ඨාස භාර නිලධාරින් විසින් ලබන ජනවාරි 31 වැනිදාට පෙර එකී විමර්ශනවලට අදාළ උඨෘත සකස් කොට නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමු කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ,නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.