රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළා.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙහිදී කියා සිටියා.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ, ටොරින්ටන් ඇවනිව්හි පිහිටි ඉඩමක් පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදලින් කොටසක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා පසුගියදා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ සම්පූර්ණ වන්දි මුදල ලබාදීමට අදාළ කටයුතු ඉටුකරදීම සඳහා සැකකරුවන් විසින් පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 400ක අල්ලසක් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළා.
පැමිණිලිකරුට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු සම්පූර්ණ වන්දි මුදලින් රුපියල් ලක්ෂ 283 ක මුදලක් ලැබුණු අතර ඊට අදාළ කටයුතු ඉටු කර දීම වෙනුවෙන් සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබාගත් අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම නිලධාරියා සඳහන් කළා.
සැකකාර සලෝචන ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සිය සේවා දායකයා කිසිසේත්ම සම්බන්ධ නොමැති බව පැවසුවා.
මෙම අල්ලස් ලබාගත් බව කියන ක්‍රියාවලිය 2023 වසරේ ජූනි මස දක්වා දිව යන අතර එම සිද්ධියට මුලින්ම මාධව සහ ජයනාත් යන අයගේ නම් සඳහන් වී තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.
නව අල්ලස් පනතේ කුමන වගන්තිය යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේදැයි මෙම නඩුකරයට අදාල බී වාර්තාවේ පැහැදිලිව සඳහන් කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ පැමිණිලිකරු විසින් තමන්ට හිමි විය යුතු වන්දි මුදල නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන අවසන්ව තිබූ අතර එවැනි අවස්ථාවක මේ ආකාරයෙන් අල්ලස් ඉල්ලා මුදල් ලබා ගන්නේ කෙසේද යන ප්රශ්නය මතුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
තම සේවාදායකයා රැකියාවක් නොකරන අතර ඔහුට වයස අවුරුදු තුන හමාරක දරුවකු සිටින අතර ඔහුගේ බිරිඳ රැකියාවක් සඳහා දෛනිකව නිවසින් පිටව යන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව බිරිඳ රැකියාව සඳහා පිටව ගිය පසු දරුවා රැකබලා ගැනීමේ කාර්යය ඉටු කරන්නේ මෙම සැකකරු බවත් ඔහු මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාරගත වීම නිසා දරුවා මානසික වශයෙන් අපහසුතාවයට ලක්ව රෝගී තත්ත්වයකට පත්ව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ළමා ප්රඥප්තියට අත්සන් කළ රාජ්‍යයක් වන අතර එම ප්රඥප්තියේ සඳහන් සියලු ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව ලමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාදායකය , විධායකය සහ අධිකරණය එක හා සමානව බැඳී සිටින බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව ජාත්‍යන්තර ළමා ප්රඥප්තිය යටතේ දරුවන්ට හිමි සියලුම රැකවරණ මෙම සැකකරුගේ දරුවාට ද හිමිවන බවත් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇපමත මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙවන සැකකරු වන දුෂාන්ත දිනේෂ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද සිය ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා