යුක්රේනට සහය දෙමින් යුද බිමේ සටන් කරමින් සිටින අතරවාරයේ දී හමුදා භාරයට ගත් සිය ජාතිකයාට මානුෂීය අයුරින් සලකන ලෙසට ඕස්ට්‍රේලියාව රුසියාවෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිදුවීම වාර්තා වීමත් සමග, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් රුසියානු බලධාරීන් දැනුවත් කරමින් ඒ පිළිබඳව කඩිනමින් සොයා බැලීම් සිදු කර ඇති බව ද සඳහන්.
ඔහු ප්‍රාණ ඇපයට ගෙන ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට හුවමාරු වනවා.
රුසියානු භාෂාවෙන් ප්‍රශ්න කරන ආකාරයක් එහි දැක්වෙන අතර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ දෑත් බැඳ තිබෙන දර්ශන කිහිපයක් ද එම වීඩියෝවේ ඇතුළත්.
නම ඔස්කාර් ජෙන්කින්ස් වන අතර තමා 32 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් බවටයි ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් එම සොල්දාදුවා පවසන්නේ.
මේ අතර ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව ජෙන්කින්ස්ට සහයෝගය ලබා දීමට කටයුතු කරමින් සිටින අතර ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙස රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.
තවද ජෙන්කින්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු සිටිනා ස්ථානය තහවුරු කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකයින් කටයුතු කරමින් සිටින බව ද සඳහන්.
අගමැති Anthony Albanese මෙම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ රුසියානුවන් බොහෝ විට නිවැරදි නොවන තොරතුරු ලබා දීමට උත්සාහ ගන්න බැවින් මොස්කව්හි ඔවුන්ගේ තානාපති කාර්යාලයත්, ඊට අමතරව විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව ද මේ ගැන සොයා බලන බවයි.
2022 දී රුසියාවේ ආක්‍රමණය ආරම්භ වූ දා සිට අවම වශයෙන් ඕස්ට්‍රේලියානුවන් හත් දෙනෙකු යුක්රේනයේ සටන් වැදී මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා.
නමුත් යුද සිරකරුවෙකු ලෙස අල්ලාගෙන රඳවා ගෙන ඇති පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා මොහු බවයි පැවසෙන්නේ.