පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන් දින හතම රාජකාරි කිරීම සදහා එකගතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණ ඇති බව සදහන්.
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ ජනාධිපතිවරයා වරාය ආශ්රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.
වරාය ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේ දී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා.
ඒ අනුවයි ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින හතම පැය විසිහතරම රාජකාරි කිරීමට එකඟතාවය පළ කර ඇත්තේ.
පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට ද තීරණය කර ඇති බව සදහන්.
ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.
ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය වී ඇති බව සඳහන්.
හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට එක් හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ වී තිබෙනවා.
ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ , ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාළ නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.
මීට අදාල මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවයි විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර ඇත්තේ.
ආහාර ආශ්රිත නිෂ්පාදනවලට අදාළ විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබා ගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බවද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ වී තිබෙනවා.
වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සදහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් දක්වා අඩු කිරීමට ද තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමට ද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී සදහන් කළ අතර වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කර තිබෙනවා.