දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔවුන් පවසන්නේ ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී අනතුරට ලක්ව ඇති බවයි.
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මෙම යානය අනතුරට ලක් වන අවස්ථාව වන විට මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සිට ඇති බව සදහන්.
එම මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු වන බව වාර්තා වනවා.
යානය කඩා වැටීමත් සමඟ එහි අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක් ව තිබෙනවා.
මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති අතර අනතුරට ලක්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත නිලධාරින් පවසනවා.