ඇමරිකාව තායිවාන ප්‍රදේශය අවිකරණය කිරීම තායිවාන වැසියන් භයානක තත්ත්වයකට ඇද දැමීමක් බව චීනය පවසා තිබෙනවා.
ඇමරිකාව “2025 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත”ට පසුගියදා අත්සන් කරනු ලැබුවේ, එරට හමුදා අයවැය ඇමරිකානු ඩොලර් බිලියන 895ක අගයක් දක්වා ඉහළ නංවමින් පිහිට වූ ඓතිහාසික වාර්තාවක් ද සමඟිනි.
එලෙස හමුදා අයවැය විශාල වශයෙන් ඉහළ නැංවීම සඳහා තාර්කික බවක් නිර්මාණය කිරීම වෙනුවෙන්, අදාළ පනත හරහා “චීන තර්ජනය” අතිශයෝක්තියට නංවා ඇති බවත්, ඒ හරහා චීනයේ තායිවාන ප්‍රදේශයට මිලිටරි සහාය දීම ද සඳහන් කර ඇති බවටත් චීනය චෝදනා කරයි.
තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙවුණු මාසය තුළ, ඇමරිකාව විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන චීනය පවසන්නේ, අවස්ථා කිහිපයකදී ඇමරිකාව තායිවාන ප්‍රදේශයට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 385 ක අවි විකිණීම අනුමත කිරීම, ඩොලර් මිලියන 571.3 ක් වටිනා මිලිටරි ආධාර ලබා දීම ප්‍රකාශ කිරීම සහ ඩොලර් මිලියන 295 ක ආයුධ විකිණීම අනුමත කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවයි.
ඇමරිකාවේ අවි වෙළඳාම වේගවත් කිරීම සඳහා වන පීඩනයට එරට රජය උපරිමයෙන් ප්‍රතිචාර දැක්වීම ඊට හේතුවක් බව බොහෝ විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද චීනය පෙන්වා දෙනවා.
එමෙන්ම චීන-ඇමරිකා සබඳතාව හැසිරවීමේදී මීළඟ රජයට යම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීම ද තවත් හේතුවක් ලෙස පෙන්නුම් කෙරෙන්නක් බව චීනයේ අදහසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මෙවැනි ක්‍රියාමාර්ග තායිවාන වැසියන් අධික පීඩනයකට ලක් කරමින් ඔවුන් වඩාත් භයානක තත්ත්වයකට තල්ලු කරයිද යන්න සම්බන්ධයෙන් ඇමරිකා රජය කිසිසේත්ම නොසලකන්නක් බව චීනය පෙන්වා දෙනවා.
හේතුව කුමක් වුවත්, ඇමරිකාවේ මෑත කාලීන ක්‍රියාවන්, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවටද චීනය චෝදනා කරයි.
ඇමරිකාව පවසා ඇති පරිදි, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අවංකව බලාපොරොත්තු වන්නේ නම්, ඇමරිකාව තායිවාන ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතු අතර, චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන හා චීනයට කළ දේශපාලන පොරොන්දුව අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදයට ස්ථීර ලෙස විරුද්ධ විය යුතු බවටයි චීනය අවධාරණය කර සිටින්නේ.