“බොරු නීති කෝට් එක ගලවනවා” – නාමල්ගේ නීති විභාග වංචාව ගැන අලුත් කතාවක්

Published on

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥ විභාගය සමත් වූ ආකාරය සහ ඊට මුහුණ දුන් ආකාරය ගැන සමාජයේ කතා බහක් නිර්මාණය වූයේ අද ඊයේ නොවේ.

එවන් පසුබිමක මේ සම්බන්ධයෙන් යළි කතා බහක් නිර්මාණය වී තිබෙනවා,

ඒ හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය ගැන සංවාදයක් නිර්මාණය වීමත් සමගයි.

කෙසේ වෙතත් තමා කිසිම අවස්ථාවක අසත්‍ය අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත් නොකළ බවත් ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කරුණු කඩිනමින් ඉදිරිපත් කරන බවත් අසෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉවත් වෙමින් ප්‍රකාශ කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ(18) දිනයේ පාර්ලිමේන්තුවට තමාගේ උප්පැන්න සහතිකයේ සිට සියලු අධ්‍යාපන සහතික ගෙනවිත් තිබූ අතර ඕනෑම අයෙකුට ඒවා පරික්ෂා කිරීමේ හැකියාවක් පවතින බව ද සඳහන් කළ නමුත් අදාළ තොරතුරු සභාගත නොකළ බවයි වාර්තා වූයේ.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් ද නිර්මාණය වුණා.

නාමල් රාජපක්ෂගේ නීති විද්‍යාල ගැටලුව යළි සමාජගත වීමත් සමග තුෂාර ජයරත්න නමැත්තෙකුගේ නම ද දැඩි කතාබහට ලක්වුයේ ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් හේතුවෙන්.

ඔහු දිගින් දිගටම කියා සිටියේ, නාමල් රාජපක්ෂ කාමරයක් තුළ සිටිමින් වංචාසහගත ලෙස නීති විභාගයට පෙනී සිටි බවයි.

මේ සම්බන්ධයෙන් එවක දී ඔහු අදහස් දැක්වූ නිසා මර තර්ජන පවා පැමිණි බව තුෂාර සඳහන් කළා.

අවස්ථා ගණනාවක දී ඔහු පොලිසියට පැමිණිලි කළත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ බවයි පැවසෙන්නේ.

අනතුරුව තුෂාර ස්විට්සර්ලන්තයට පලා ගොස් තිබුණා.

එහි සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ගැටලුව ගැන දිගින් දිගටම අදහස් දැක්වීමත් සමග ඊයේ පාර්ලිමේන්තුව තුළ ද ඔහුගේ නම අහන්නට ලැබුණේ වසන්ත සමරසිංහගේ කතාව තුළයි.

ඒ අනුව නීති විභාගයට නාමල් වංචා කළ බව වසන්ත සමරසිංහ කියා සිටි අතර ඒ සමබන්ධයෙන් වන විමර්ශන සඳහා තුෂාර ජයරත්න මහතා ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

ඊට ප්‍රතිචාර වශයෙන් තුෂාර විසින් සමාජ මාධ්‍ය වෙත ඊයේ දිනයේ යළි වීඩියෝවක් එක් කර තිබුණා.

එහි සඳහන් වූයේ නාමල් රාජපක්ෂගේ නීති කෝට් එක ගලවා දැමීමට තමා සූදානම් බවයි.

අදාළ විමර්ශන ලංකාව තුළ ආරම්භ වන්නේ නම් තමා පිළිතුරු දීමට මෙන්ම සාක්ෂි ලබා දීමේ අරමුණෙන් ද පැමිණෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකයි.

එසේ ඔප්පු කිරීමට නොහැකි වුවහොත් තමාට එම චෝදනාව නැගූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

සමහරුන් වරප්‍රසාද වලට මුවා වී අවබෝධයෙන් බොරු කියන බව පැවසූ රාජපක්ෂ මහතා තමා සම්බන්ධයෙන් නැගූ එම චෝදනාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න ලෙස ද ඉල්ලා සිටියේ වසන්තගේ ප්‍රකාශ හුදු අසත්‍ය ඒවා බවට හඟවමින්.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද ඊට කඩිනමින් පිළිතුරු ලබා දුන්නා.

ඔහු කියා සිටියේ නාමල් රාජපක්ෂ කාමරයක් තුළ නීති විභාගයට මුහුණ දුන් බවට වන සාක්ෂි තමා සතුව පවතින බවයි.

එසේම තුෂාර ජයරත්න මහතා අදාළ පරීක්ෂණ වෙනුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

මම රෂිත අබේවික්‍රම.

ඉහත පුවත සම්බන්ධයෙන් වන සියලු වගකීම මා සතුයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...