මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ඒවායේ තනතුරුවලට අදාළ පුද්ගලයින් සතියක් තුළ නම්කර එවන ලෙස පක්ෂ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කළේ එම ආයතනවල බහුතර බලය එක් පක්ෂයකට හිමි නොවන අවස්ථාවල දී එම පත් කිරීම සිදුකරන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් බවයි.
මෙවර ආයතන 266ක් දිනාගත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 3,927ක් හිමිකර ගනු ලැබූ අතර අනෙක් සියලු පක්ෂ එක්ව දිනා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 4,392ක්.
මේ අතර, මැතිවරණ ප්‍රතිඵලට අනුව බෙදී ගිය මන්ත්‍රී ධුර අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා.
එවන් පසුබිමක මන්ත්‍රී ධුර හිමිකර ගත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල සමග බලය පිහිටුවීමේ එකඟතාවයකට පැමිණ ඇති බවයි සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ.
කොළඹ මහ නගර සභාව ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණේ මන්ත්‍රී ධුර 48 ක් දිනා ගනිමින්.
නමුත් එහි බලය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය අසමත් වුණේ සමගි ජන බලවේගයේ සභික ධුර 29ක් ද ඇතුළුව සෙසු සියලු පක්ෂ ලබාගත් සභික ධුර ගණන 69 ක් වීම හේතුවෙනි.
ඒ අනුව ජාතික ජන බලවේගයට වඩා සෙසු පක්ෂ විසින් සභික ධුර 21 ක් වැඩියෙන් දිනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය පවතින්නේ ජාතික ජන බලවේගය සතුව බවයි ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සිය පක්ෂය සෙසු පක්ෂ සමග එක්ව කටයුතු කරන බවයි.
එමෙන්ම, එම නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළා.
ඊට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනද එක්ව සිටියා.
මේ අතර, කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ දී සමගි ජන බලවේගයට සහය අවශ්‍ය නම් එය ලබා දීමට සූදානම් බවයි පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා පවසා සිටියේ.