යුක්රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් සටන් කිරීමට හමුදා යැවූ බව උතුරු කොරියාව ප්‍රථම වරට තහවුරු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට අනුව කර්ස්ක් දේශසීමා කලාපය “සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට” එම හමුදා කණ්ඩායම් යොමු කර ඇති බවයි.
මෙම හමුදා යෙදවීමේ තීරණය ප්යොංයැං සහ මොස්කව් අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අනුකූල බවයි පැවසෙන්නේ.
උතුරු කොරියානු සොල්දාදුවන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට යුක්රේනය රුසියානු යුද ගැටුම් සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සහ කිම් යන දෙදෙනාම “ආක්‍රමණශීලී” තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් එකිනෙකාට සහයෝගය දැක්වීමට එකඟ වූ ගිවිසුමක් අත්සන් කිරීම මීට හේතුවයි.
ස්ටෝම් කෝප්ස් ලෙස හඳුන්වන “ප්‍රභූ” ඒකකයකින් වාර්තා වන උතුරු කොරියානු හමුදා නූතන යුද්ධයකට සූදානම් නැති බවයි හමුදා විශේෂඥයින් පවසා ඇත්තේ.
හිටපු බ්‍රිතාන්‍ය හමුදා අණදෙන නිලධාරියකු පවසා තිබුණේ “මේවා රුසියානු නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන යන්තම් පුහුණුව ලත් භට පිරිස්, ඔවුන්ට තේරෙන්නේ නැහැ” යනුවෙයි.
මෙසේ තිබියදීත්, යුක්රේනයේ ඉහළම හමුදා අණදෙන නිලධාරියෙකු මීට පෙර ද අනතුරු ඇඟවූයේ උතුරු කොරියානු සොල්දාදුවන් ඉදිරි පෙළේ යුක්රේන සටන්කරුවන්ට සැලකිය යුතු ගැටලුවක් ඇති කරන බවය.