ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් හි අම්රෝහා නම් ප්‍රදේශයේ කාන්තාවක් තම ආදරණීය සුරතල් බළලාගේ මරණයෙන් කම්පාවට පත් වීම හේතුවෙන් සියදිවි නසා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පූජා ලෙස හැඳින්වෙන ඇය 32 හැවිරිදි කාන්තාවක්.
තම සුරතලාගේ මළ සිරුර දින දෙකක් ඇය ළඟ තබාගෙන සිට ඇති අතර එම සත්ත්වයාට නැවත ජීවය පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරමින් පසු වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව බලාපොරොත්තු සුන් වී සුරතලා අහිමි වීම දරාගත නොහැකි වූ පසු, තම නිවසේ ගෙල වැලලාගෙන ඇය ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
පවුලේ සාමාජිකයින්ට අනුව, පූජා නම් අදාළ කාන්තාව වසර අටකට පමණ පෙර දිල්ලියේ පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර වසර දෙකකට පසු දික්කසාද වී එතැන් සිට ඇයගේ මව සමග ජීවත් වූ බවයි පැවසෙන්නේ.
පූජා තම බළලාට කොතරම් ගැඹුරින් ආදරය කළා ද?, එම සත්ත්වයා නොමැති ජීවිතයක් ගැන සිතාගත නොහැකි බවට ඇයගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබෙනවා.
තනිකම දරා ගැනීමට පූජා සුරතල් බළලෙකු හදා වඩා ගැනීමට කටයුතු කර ඇති අතර ඉන් පසුව ඇයගේ ජීවිතය වැඩි කාලයක් ගත කර ඇත්තේ එම සුරතලා සමගයි.
එලෙස ආදරයෙන් හදා වඩාගත් ඇගේ සුරතලා බ්‍රහස්පතින්දා මිය ගොස් ඇති අතර, ඇගේ මව සත්ත්වයා භූමදාන කිරීමට යෝජනා කළ විට, එය ප්‍රතික්ෂේප කරමින්, බළලාට “නැවත ජීවය පැමිණෙනු ඇත” යනුවෙන් පූජා ප්‍රකාශ කර තිබෙනවා.
දින දෙකකට පසු එනම් සෙනසුරාදා පූජා නිවසේ සිය කාමරයේ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී සිටිනු දැක ඇත්තේ ඇයගේ මව විසින්.
ඒ අසල මියගිය බළලාගේ සිරුර ද දක්නට තිබූ බවද නිවැසියන් කියයි.