ශුද්ධ වූ අල් කුරානය පුළුස්සා ප්රචණ්ඩ විරෝධතා සඳහා මග පෑදූ පුද්ගලයකු ස්වීඩනයේදී වෙඩිතබා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස මියගොස් ඇත්තේ ඉරාක ජාතික සල්වාන් මොමීකා නම් 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.
ස්ටොක්හෝම් අසල සොඩර්ටල්ජ් නගරයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී මෙම ඝාතනය කර ඇති බවයි කියන්නේ.
ස්ටොක්හෝම් පොලිසිය ඊයේ (30) නිවේදනය කළේ, ඝාතනයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ස්වීඩනයේ වෙසෙන ඉරාක ජාතික මොමිකාට, 2023 වසරේදී අවස්ථා හතරකදී ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව තවත් අයෙකු සමඟ විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේදී චෝදනා එල්ල විය.
ඊට අදාළ නඩුවේ තීන්දුව ඊයේ දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබු අතර අධිකරණ තීන්දුව ලබා දීමට පැය කිහිපයකට පෙරයි ඔහු මෙලෙස මරා දමා ඇත්තේ.
කෙසේවෙතත් ස්ටොක්හෝම් දිස්ත්‍රික් අධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ විත්තිකරුවන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්දැමූ බවයි.
මෝමිකා නමැත්තා ඉස්ලාම් විරෝධී විරෝධතා මාලාවක් ගෙන ගිය අතර එය මුස්ලිම් බහුතරයක් සිටින රටවල් රැසක විරෝධතාවන්ට හේතු වූවා.
මොහු 2023 වසරේදී ස්ටොක්හෝම් මධ්‍යම පල්ලියෙන් පිටත ඉස්ලාම් දහමේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානයේ පිටපතකට ගිනිතැබීමෙන් පසු නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.
නමුත් එම ග්‍රන්ථය පුළුස්සා දැක්වූ විරෝධතාවට ස්වීඩන් රජය අවසර ලබා දී තිබුණේ එය භාෂණයේ නිදහසට අනුකූල බව පවසමිනි.