ඉදිරි අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා ට්‍රිලියන 1.35ක්

Published on

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමින්.

“ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධාන කර තිබුණා.

දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි.

එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම ද මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි.

එම සමුළුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

අපි මීට පෙර බලය හොඹවපු නැති දේශපාලන ව්‍යාපාරයක්.

පසුගිය කාලය තුළ ව්‍යාපාරික කණ්ඩායම්, ආයෝජකයන් සහ ඇතැම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප කෙරෙහි සැකයක් තිබුණා නම්, මේ වන විට එම සැකය තුරන් කර රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමට අපට හැකි වී තිබෙනවා.

එය පසුගිය මාස දෙක තුළ අප ලැබු සුවිශේෂී ජයග්‍රහණයක්.

මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා.

ආර්ථික කඩා වැටීම හමුවේ අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙසයි අපි සලකන්නේ.

එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එය මෑතකාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇතියි.

පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු වුණේ නැහැ.

75%ක් – 80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ.

නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා.

ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ අපි පසුගියදා දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා.

සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බව එහිදී අනාවරණ වුණා.

එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වෙනවා.

පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් තිබෙනවා. ඒ සඳහා දින 269ක කාලයක් ගත වෙනවා.

ප්‍රායෝගිකව ගතහොත් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙනවා.

එය දින 82කට අඩු කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුව තිබෙනවා.

ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගත වී තිබෙනවා.

එය දින 102ක් වැනි කාලයකට අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා.

ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලය දින 80කට ආසන්න කාලයක් ගන්නවා.

එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි.

ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

ඒ වගේම සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා.

මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා.

විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අපිට අත්පත් කරගත හැකියි.

මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ජූලි මාසය වන විට නැගෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි.

ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකියි.

අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා.

ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.

මේ වන විටත් අපි සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව පළ කර තිබෙනවා.

ඒ වගේම වරායේ දීර්ඝ කාලයක් සිර වී තිබු සැපයුම් මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා.

ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ගණනාවක් සිර වී තිබෙනවා.

අපි එම ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය අවසරය සහ බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා.

එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා.

ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා.

ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවයකින් වැඩ කර නැහැ.

එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කර තිබෙනවා.

නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ.

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේදී දේශපාලන අධිකාරිය ලබා දුන් තීන්දු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිවිරෝධයක් මතු වුණා.

රාජ්‍ය යාන්ත්‍රණය හැමදාම සිතුවේ දේශපාලන අධිකාරිය සඟවා ගත් දෙයක් ක්‍රියාත්මක කිරීමට යනවා කියලා.

නමුත් මේ වනවිට දේශපාලන අධිකාරියේ සැඟවුණු අරමුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙනවා.

ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රණය අපට සහයෝගය ලබා දෙයි කියා විශ්වාස කරනවා.

මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි.

නිශ්චිත කාලයට තීන්දු තීරණ නොගත් විට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

ඩිජිටල්කරණය කිරීම තුළින් පහසුව, කාර්යක්ෂමතාවය පමණක් නොව රට තිබෙන තැනින් නව තලයකට ඔසවා තැබීමටද හැකියාව තිබෙනවා.

එම නිසා මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය අනිවාර්යෙන්ම කළ යුතුයි.

ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.

ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.

පරිපාලනය සඳහා නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැහැදිලියි.

මෙතෙක් පැවති රාජ්‍ය පරිපාලනය අසාර්ථක හා දූෂිත බව පෙනී ගොස් තිබෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දැරිය යුතු විශාල පිරිවැයක් තිබෙනවා.

සමහර ආයතනවල දැන් කළ යුත්තක් නැහැ.

යුගයට අවශ්‍යතාවය අනුව එම ආයතන ස්ථාපිත කළත් ඒ සඳහා වර්තමානයේදී කරන්න වැඩපිළිවෙලක් නැහැ.

එක් ක්ෂේත්‍රයක් සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ කළ යුතුයි.

මෙරට ආර්ථිකයේ අපනයන ආදායමෙන් 90%ක් ලබා දෙන්නේ ආයතන කිහිපයක් පමණයි.

රේගු අදායමෙන් 69%ක් ලබා දෙන්නේ ෆයිල් 621යි.

ඒ වගේම බස්නාහිර පළාත ජාතික ආර්ථිකයට 37%ක් දායක වන විට ඌව පළාත ජාතික ආර්ථිකයට දායක වෙන්නේ 5%ක් පමණ යි.

ආර්ථිකය කුඩා කණ්ඩායම් අත පමණක් තැබීමෙන් ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැහැ.

අස්වැසුම මිලියන 1.8 ප්‍රතිලාභ ලබා දෙනවා.

නමුත් තවත් ලැබිය යුතු කණ්ඩායම් සිටිනවා.

ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම සඳහා නව ආර්ථික අවස්ථා ඇති කළ යුතුයි.

වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ නව ආර්ථික ප්‍රභවයන්, අවස්ථාවන් ගමට හඳුන්වාදීමයි.

එසේ සිදුවීමේදී ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යනවා.

ජනතාවගේ ක්‍රයශක්තිය වැඩිවීම තුළින් ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කළ හැකියි.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පැවතුණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ආධාර ලබාදීමේ වැඩපිළිවෙළයි.

එහිදී එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මී ගවයෙක් හෝ කුකුළු පැටවූ ලබාදීම සිදුකළා.

එය සාර්ථක නම් මේ වනවිට ගොවිපළවල් විශාල ගණනක් තිබිය යුතුයි.

එම නිසා ප්‍රජාව සවි බල ගැන්වීම සඳහා නව ආර්ථික ප්‍රභවයන් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...