ප්රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම අතුරු නියෝගය මේ මස 21 වනදා දක්වා බල පැවැත්වෙන බවයි පැවසෙන්නේ.
සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, කේසර ලංකා පෞද්ගලික සමාගම ඇතුළු හය දෙනෙකු නම් කර ඇති බව සඳහන්.
සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසුව වග උත්තරකාර කේසර ලංකා සමාගම අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් චෝදනා කර තිබෙනවා.
පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් පෙත්සමේ සඳහන්.
මෙම තත්ත්වය තුළ පෙත්සම්කාර සමාගමේ අධ්යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුවයි මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ.