අදට (14) යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එම පණිවුඩය පහතින්.
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව සමරනු ලබන මහා සංස්කෘතික වටිනාකමකින් හෙබි උත්සවයක් ලෙස හැඳින්විය හැකිය.
පාරම්පරිකව අස්වැන්න නෙලන අවස්ථාවේ දී සමරනු ලබන මෙම උත්සවය කෘතවේදීත්වය සෞභාග්‍ය හා බැඳී පවතින්නකි.
කෘෂිකාර්මික ජීවන රටාව තුළ තමාගේ ආර්ථිකයට, ජීවිතයට සවියක් වූ අස්වැන්න සශ්‍රීක කිරීමට උපකාර කළ සූර්යයාට, සොබාදහමට මෙන් ම එයට උපකාරී වූ ගව මහීෂාදී සතුන්ටත් කෘතගුණ පළ කරන මෙම උත්සවය අපට කියා දෙන මහා පාඩම වන ‘කෘතගුණ සැලකීම’ යන්න වර්තමාන සමාජය විසින් අනාගතය වෙනුවෙන් නිවැරදිව සමාජගත කිරීම අපගේ වගකීම යි.
රටක ජනතාව වෙනුවෙන් වගකීම භාරගත් පාලක පක්ෂයට ජනතා වගකීම් ඉටු කිරීම යනු තමා වෙත එම බලය පැවරූ ජනතාවට පුද කරන කෘතවේදීත්වයක් සහ වගවීමක් ලෙස හඳුනා ගැනීමට තෛපොංගල් උත්සවයේ යටි පෙළ නිවැරදිව කියවා ගැනීම තුළින් හැකියාව ලැබේ.
බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘ භූමිය තුළ විවිධත්වයෙන් එකමුතුවට මඟ පාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයක් සුරකීමට හේතුවක් ද වනු ඇත.
එබැවින් වසර දහසකට වඩා ඉතිහාසයකට දිවෙන තෛපොංගල් උළෙල සමරණ ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටකිනි.
ඔබ සැමට ශ්‍රී සුබ තෛපොංගල් දිනයක් වේවා !