අද (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරික්ෂා කිරීමේ දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
පසුගිය දිනවල සිදු වූ බස් රථ අනතුරු ඇතුළු රිය අනතුරු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත හෙට සිට උත්සව සමය අවසන් වනතුරු මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීම සිදු කරන අතර එම බස් රථවල රියදුරන් මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදුකරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීමට නියමිතයි.
බස් රථ අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස ධාවනය ,අධික වේගයෙන් රිය ධාවනය ,මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය,ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි පරික්ෂා කිරීම් සිදුකරන බව සඳහන්.
එම වැරදි සම්බන්ධයෙන් එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
මේ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් යෙදවීමට නියමිතයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කාලය තුල රථ වාහන වැරදි සම්බන්ධයෙන් 119 හෝ 1997 යන දුරකථන අංක වෙත ජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.