ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට යොමු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මහනුවර පැවති “සුව උදාන” 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය පවත්වා තිබුණා.
ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීමත්ව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් දිප ව්‍යාප්තව ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය මගින් සංවිධානය කරයි.
මෙම ජංගම සායනය සදහා පැමිණෙන සියළු රෝගීන් මූලික වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු කරන අතරම ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මෙහි දී හඳුනා ගන්නා නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් හඳුනාගෙන ඔවුන් රජයේ ප්‍රධාන රෝහල්වල ඊට අඳාළ වෛද්‍ය සායන වෙත යොමු කිරීම සිදු කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සායනය තුළින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබඳ සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් මෙන්ම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් ද සිදු කර තිබෙනවා.