ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක්.
එම ආයතනයේ කාර්‍යභාරය වන්නේ එරට සිටින සහ එරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.
එම ආයතනයේ දිගුවක් ලෙස මුසානද්(Musanad) නමැති ආයතන ව්‍යූහයක් පවතිනවා.
එම ආයතනය සෞදි අරාබියට , ගෘහසේවය සඳහා පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන බව සඳහන්.
මේ වනවිට සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ ටකාමෝල් හා මුසානද් යන ආයතනවල බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එය සංවිධාන කර තිබුණේ සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය විසින්.
එම සාකච්ඡාවේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නෙ සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වෙනුවෙන් සාධනීය සමාජ ආරක්ෂණ වැඩපිලිවෙළක අවශ්‍යතාවක් පවතින බවයි.
එමෙන්ම අදාළ ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් තල, උසස් ජීවන තත්වයක් මෙන්ම කම්කරු අයිතිවාසිකම් හිමිකර දීමේ හැකියාව පිළිබඳවද මෙහිදි විමසා බලා තිබෙනවා.
ඊට අමතරව දැනට සෞදි අරාබියේ සේවය කරන අඩු පුහුණුවක් සහිත සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන්හට රැකියා නිපුණතා හිමිකරදීම, සුබසාධනය, රැකියා ස්ථානවල සුරක්ෂිතභාවය,සේවක වැටුප් ආදී කරුණු පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සෞදි බලධාරීන්ගේ අවධානය යොමු කළ බවයි කියන්නේ.
ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් විදෙස් රැකියා සඳහා යොමු කිරීම වත්මන් රජය ප්‍රවර්ධනය නොකරන බව සඳහන් කළ මහින්ද ජයසිංහ මහතා කෙසේ වෙතත් ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඉහළ වැටුපක් මෙන්ම උසස් ජීවන තත්ත්වයක් ලබාදීමේ වැදගත්කමද පෙන්වා දුන්නා.
දැනට සෞදි අරාබියේ පවතින රැකියා කාණ්ඩ 23 සඳහාම වෘත්තීමයභාවයක් සහිත පුහුණු ශ්‍රී ලාංකිකයන් යොමු කිරීම වත්මන් රජයේ අභිලාෂය බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කළේ.
එහිදී සෞදි බලධාරින් සඳහන් කළේ මෙම යෝජනා සම්බන්ධයෙන් අඛණ්ඩ සාකච්ඡා සිදු කරමින් වඩා වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය රටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද් සහ තානාපති කාර්‍යාලයේ රැකියා සහ සුබසාධනය පිළිබඳ උපදේශක මංගල රන්දෙනිය යන මහත්වරුන්ද සහභාගී වූ බව සඳහන්.