කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වා සිරකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලත් අතර, එම ප්‍රතිකාර තවදුරටත් ලබා දිය යුතුද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ලිඛිතව සිදු කළ විමසීමකට අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබුවා.
එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව මෙම සිරකරු තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත්, හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙස බන්ධනාාර දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා.
ඒ අනුව, දුමින්ද සිල්වා පසුගිය 10 වන දින බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවීමට කටයුතු කළා.
එහි රඳවා සිටින අවස්ථාවේදී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව පසුගිය 11 වනදා අලුයම 02.00 ට පමණ කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබුණා.
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර නැවත ඊයේ (12 ) දින බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා.
සිරකරුගේ ප්‍රතිකාර අවසන් බැවින් නැවත වැලිකඩට ඇතුළු කිරිමට අධිකාරිය කරන ලද විමසීමකට අනුව, සිරකරුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත්, ඉදිරි ප්‍රතිකාර සම්බන්ධව ලබන 15 දින දැනුම් දෙන බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පවසා තිබෙන බව සඳහන්.
ඒ අනුව ආර්.දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ.