රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුතු රාජ්‍ය නිලධාරීන් පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබෙන බව සමගි ජන බලවේගය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළා.
පළාත් පාලන සහකාර කොමසාරිස්වරු,පළාත් පාලන ආයතන ලේකම්වරු මෙන්ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන්ටද මෙය බලපා ඇති බවට වාර්තා වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවායැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගත බවයි සමගි ජන බලවේගය පවසන්නේ.
පළාත් පාලන මැතිවරණය නුදුරේදීම පැවැත්වීමට නියමිත බවත්,සමූපකාර සංගම් ඡන්ද විමසීම් මේ දිනවල පැවැත්වෙන බවත් මෙම ලිපිය මගින් විශේෂයෙන් අවධාරණය කර තිබෙනවා.
පෙර නොවූ විරූ පරිදි රාජ්‍ය සේවය තුළ දේශපාලනීකරණය වීමක් සිදුවෙමින් පැවතීම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවයි සමගි ජන බලවේගය පවසන්නේ.
ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීම සදහා විශේෂ ඒකකයක් පිහිටුවීමටද සමගි ජන බලවේගය ක්‍රියා කර තිබෙනවා.
ඒ සඳහා නාමිකව හෝ නිර්නාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම කෙනෙකුට හැකි බවයි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පවසන්නේ.
එමෙන්ම රජය සහ පළාත් මට්ටමින් අත්තනෝමතිකව සිදු කරනු ලබන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස රජයට සහ පළාත් සභා බලධාරින්ට අවධාරණය කරන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.