රාත්‍රී කාලයේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රි කාලයේදි රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇතිවන අපහසුතාවන් පිළිබද නිරීක්ෂණය වී තිබෙන බව සඳහන්.
එමෙන්ම එමඟින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළද නොසිටීම තුළින් නිලධාරීන් අනතුරට පත්වීමේ හැකියාව වැඩි බවයි කියන්නේ.
මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ මින් ඉදිරියට රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් මින් පෙර උපදෙස් ලබා දී ඇති පරිදි, රාත්‍රි කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී අදාළ නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් සහ ලුමිනස් අත්වැසුම් පැළඳ සිටීමටත්,රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත ලබාදි ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසයි.
රාත්‍රි කාලයේ රාජකාරියේ නිරත රථවාහන නිලධාරීන් එම උපදෙස් පිළිපදින්නේද යන්න නිරන්තර අධීක්ෂණය කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.