ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන වංචා දිනෙන් දින ඉහළ යමින් පවතින බව සොයා ගෙන තිබෙනවා.
ඕස්ට්‍රෙලියානුවන් මෙම උත්සව සමයේ විශාල ලෙස විවිධ භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් වියදම් කිරීම් සිදුකරනවා.
මෙහිදී නොයෙක් වංචා කටයුතු සඳහා ඔවුන් හසුවීමට වැඩි ඉඩකඩක් පවතින බවට විශේෂඥයන් පෙන්වා දෙනු ලබයි.
2023/2024 මූල්‍ය වර්ෂයේ මහජනතාවට මුහුණ දීමට සිදුවී ඇති වංචාවලින් ප්‍රධානම වංචා වර්ග තුන අතරින් අන්තර්ජාල වෙළඳාම් හා සම්බන්ධ වංචා ඇති බවට සයිබර් ආරක්ෂාව සඳහා වන ඕස්ට්‍රේලියානු ආයතනයක් වන Australian Signals Directorate ආයතනය විසින් නිකුත් කර ඇති දත්තවලට අනුව අනාවරණය වෙනවා.
උත්සව සමයේදී විශේෂයෙන්ම හැලෝවීන්, Boxing හෝ නත්තල් සමය වැනි විශේෂ උත්සව සමයන් ඉලක්ක කර වංචනිකයින් තම වංචා කටයුතු සිදුකරන අතර එම කාලයේදී සිදුවන වංචා ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව සඳහන්.
බොහෝ දෙනා මෙම කාලවලදී පරීක්ෂාකාරී නොවී ඊට යොමු වීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මෙහිදී ScamWatch ආයතනය පෙන්වා දෙන්නේ ප්‍රසිද්ධ වෙළඳ සන්නාම හෝ ආයතන අනුකරණය කරමින් ඊට සමාන වෙබ් අඩවි නිර්මාණය කිරීමට වංචනිකයින් පෙළඹී ඇති බවයි.
එමෙන්ම ප්‍රසිද්ධ චරිතවල පින්තූර යොදා ගනිමින් මෙම වෙබ් අඩවි පිළිබඳව ඇති විශ්වාසය ඉහළ නැංවීමටද ඔවුන් කටයුතු කරන බවයි කියන්නේ.
ඒ අනුව පසුගිය මාස තුන තුළ ඉවත් කරන ලද වංචනික වෙබ් අඩවිවලින් 50%ක් අන්තර්ජාල සාප්පු සවාරි වංචාවන් වේ.
ACCC නියෝජ්‍ය සභාපති කැට්‍රියෝනා ලෝ ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලය හරහා සාප්පු යාමේදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි.
ඔබට සත්‍ය යැයි සිතිය නොහැකි තරම් හොඳ මිලකට නිෂ්පාදනයක් හෝ සේවාවක් පිරිනමන්නේ නම්, එය වංචනික සේවාවක් විය හැකි බවත්, වංචනික වෙබ් අඩවියක් සක්‍රීයව පවතින තරමට, එය වඩාත් නීත්‍යානුකූල බවක් පෙනෙන්නට ඇති අතර මිනිසුන්ට මුදල් අහිමි වීමේ අවධානම ඉන් වැඩි වන බවද ඇය පැවසුවා.
වංචා සහගත වෙළඳාමක් විය හැකි බවට හඳුනාගත හැකි ලක්ෂණ
- විකුණුම්කරුවෙකු ඇදහිය නොහැකි තරම් අඩු මිලකට නිෂ්පාදන ලබා දීම.
- වෙබ් අඩවියේ කිසිදු නියමයන් සහ කොන්දේසි, ABN හෝ රහස්‍යතා ප්‍රතිපත්තියක් නොමැති වීම
- ඔබ මිලදී නොගත් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා invoice ලබා ගැනීම.
- ඔබට මුදල් ඇණවුම, pre-loaded card හෝ විවිධ PayId හෝ ගිණුම් කිහිපයකට ගෙවිය යුතු බව කීම
- ඔබගේ නම සඳහන් කරනු වෙනුවට “Dear user” or “Hello customer” ලෙස එන ඊ මේල් පණිවිඩ පැමිණීම
- “Urgent action required” හෝ “limited time offer”ලෙස සඳහන් කර පාරිභෝගිකයින්ව අනවශ්‍ය කලබලයකට පත් කර මුදල් ගෙවීම් සඳහා පෙළඹවීම
මෙම වංචාවලින් වැළකී සිටීමට පාරිභෝගිකයින් කළ යුතු දේ
අන්තර්ජාල සාප්පු සවාරි වංචාවලට ගොදුරු වීමෙන් වැළකීමට පහත ක්‍රම අනුගමනය කරන්න
වංචාකරුවන් බොහෝ විට ඔබ දන්නා සහ විශ්වාස කරන ව්‍යාපාර ලෙස පෙනී සිටියි. ඔබ මිලදී ගන්නේ සැබෑ අන්තර්ජාල වෙළඳසැලකින් මිස ව්‍යාජ වෙබ් අඩවියකින් නොවන බව නැවත තහවුරු කර ගන්න. නව සහ ඉතා අඩු මිලට නිෂ්පාදන අලෙවි කරන සමාජ මාධ්‍ය වෙළඳසැල් ගැන ප්‍රවේශම් වන්න. වංචාකරුවන් ව්‍යාජ දැන්වීම් සහ ව්‍යාජ සමාලෝචන ද පළ කරති.
සමාගමේ නිල වෙබ් අඩවිය සොයන්න. අන්තර්ජාල සෙවුමක එන පළමු සෙවුම් ප්‍රතිඵලය සැබෑ වෙබ් අඩවිය යැයි නොසිතන්න. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියේ පුද්ගලිකත්වය, භාවිත නියමයන් සහ කොන්දේසි, ආරවුල් නිරාකරණය සහ සම්බන්ධතා තොරතුරු සහ PayPal හෝ ක්‍රෙඩිට් කාඩ් වැනි ආරක්ෂිත ගෙවීම් සේවාවක් පිළිබඳ තොරතුරු තිබේදැයි පරීක්ෂා කරන්න.
යමක් වැරදි යැයි හැඟේ නම් ඉක්මනින් ක්‍රියා කරන්න. සැක සහිත වෙබ් අඩවි ඉක්මනින් Scamwatch වෙත වාර්තා කිරීමෙන් ව්‍යාජ වෙබ් අඩවි ඉවත් කිරීමට සහ අනෙකුත් සාප්පු හිමියන්ට මූල්‍ය හානිවලින් ආරක්ෂා කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට අපට ඉඩ සලසයි.
ඔබට වංචාවන් හඳුනා ගැනීමට සහ වළක්වා ගැනීමට උදව් කිරීමට වංචා ඇඟවීම් සහ තොරතුරු සඳහා Scamwatch වෙත යන්න.