අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ GSP+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා හමුවක් ඊයේ (05) දින පැවැත්වුණා.
අග්‍රාමාත්‍යවරිය යුරෝපා සංගම් නියෝජිත පිරිස පිළිගත් අතර, විශේෂයෙන් GSP+ රාමුව හරහා යුරෝපා සංගමය සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණේ දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල් පරිවර්තනය සහ “Clean Sri Lanka” මෙහෙයුම ඇතුළු රජයේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳවයි.
සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා රජයේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු වත්මන් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳවයි අවධානය යොමු කළේ.
ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්ති, විශේෂයෙන් GSP+ යාන්ත්‍රණයේ මූලික අරමුණු සමඟ අනුකූල වන ඒවා හඳුන්වා දීම යුරෝපා සංගම් නියෝජිත පිරිසගේ ප්‍රසාදයට හේතු වූ අතර ඔවුන් GSP+ සහන සඳහා නැවත අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මග පෙන්වීමක් ලබා දුන්නා.
ඒ අනුව එම නියෝජිත පිරිස නැවත අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ විධිමත් සංවර්ධන ක්‍රියාවලින් සඳහා සහාය දැක්වීමට ඇති කැමැත්ත පිළිබඳවයි.
මෙම සංවාදයේ දී IMF හි සහභාගීත්වය සහ කාන්තා දේශපාලන හා ආර්ථික සහභාගීත්වය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන ලද අතර ශ්‍රම බලකායට වැඩි කාන්තා පිරිසක් ඇතුළත් කර ගැනීම සඳහා ළමාරක්ෂක සේවා, වැඩිහිටි සත්කාර සහ ප්‍රවාහනය වැනි ආධාරක පද්ධති වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ.
එමෙන්ම ආර්ථික, සංස්කෘතික සහ සංචාරක අංශ හරහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාමන් මොරේනෝ මහතා මෙම හමුවේදී සඳහන් කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුර ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු දෙපාර්ශ්වයේම ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙම හමුවට සහභාගී වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.