ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළ කරමින් සහ පලස්තීන ජනතාව සමඟ “අධිෂ්ඨානශීලී සහයෝගීතාවය” ප්‍රකාශ කරමින් මාලදිවයින ඊශ්‍රායල ජාතිකයින්ට රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
මහජන මජ්ලිස්, මාලදිවයින් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු ජනාධිපති මොහොමඩ් මුයිසු සඳුදායි එම නීතියට අත්සන් කරනු ලැබුවේ.
මුයිසුගේ කැබිනට් මණ්ඩලය මුලින් තීරණය කරනු ලැබුවේ 2024 ජුනි මාසයේදී ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර නවත්වන තෙක් සියලුම ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දූපතේ රැඳී සිටීම තහනම් කිරීමටයි.
රටේ ආගමන පනත සංශෝධනය කිරීමට උත්සාහ කළ ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදකයෙකු වන මීකයිල් අහමඩ් නසීම් විසින් 2024 මැයි මාසයේදී මාලදිවයින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන්පසු කැබිනට් මණ්ඩලය ද්විත්ව පුරවැසියන් ඇතුළු ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන් රැඳී සිටීම තහනම් කිරීම සඳහා රටේ නීති වෙනස් කිරීමටයි තීරණය කළේ.
ඉන් සංශෝධන කිහිපයකට පසුව, දින 300 කට වැඩි කාලයකට පසු එය මෙම සතියේ සම්මත වූවා.
“මෙම අනුමත කිරීම පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු කරන ලද අඛණ්ඩ කුරිරුකම් සහ අඛණ්ඩ ජන සංහාර ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් රජයේ ස්ථිර ස්ථාවරය පිළිබිඹු කරයි,” යනුවෙනුයි මුයිසුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සටන් විරාමයක් බිඳ වැටුණු මාර්තු 18 වන දින සිට අවම වශයෙන් පලස්තීනුවන් 1,613 දෙනෙකු මිය ගොස් ඇති බවත්, 2023 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහි යුද්ධය ආරම්භ වූ දා සිට සමස්ත මරණ සංඛ්‍යාව 50,983 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මාලදිවයිනේ සංචාරක අමාත්‍යාංශයට අනුව, 2024 පළමු කාර්තුවේදී ඊශ්‍රායල ජාතිකයින් 528 ක් රටට පැමිණ ඇති අතර එය 2023 පළමු කාර්තුවේදී 4,644 ට වඩා සියයට 89 කින් අඩුය.
එරට රජයේ දත්ත වලට අනුව, මෙම පෙබරවාරි මාසයේදී සංචාරකයින් 200,000 කට අධික සංඛ්‍යාවක් මාලදිවයිනට පැමිණි අතර, ඉන් 59 ක් ඊශ්‍රායල ජාතිකයන් බව කියයි.