චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කළා.
අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ ඒ රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර එය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට ද විරුද්ධ වීමක් බවයි චීනය පවසන්නේ.
එමෙන්ම ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය, රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානි දායක වන අතර, එය ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට දරුණු පහරක් බවද චීනයේ අදහසයි.
එමෙන්ම ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය හා ආර්ථිකමය හිරිහැර කිරීම කෙරෙහි ජගත් ප්‍රජාවේ පොදු විරුද්ධත්වය පළ වී ඇති අතර ඇමරිකාවේ එම ක්‍රියාකලාපයට චීනය ද දැඩි ලෙස විරුද්ධ වන බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.
එමෙන්ම බලපෑම් කිරීම, තර්ජනය කිරීම හා වංචා කිරීම චීනය සමඟ කටයුතු කිරීමේ නිසි ක්‍රමයක් නොවන බවත් චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගනු ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.
එසේම ඇමරිකාව දෙරටේ හා ජගත් ප්‍රජාවේ ජයග්‍රහණ නොසලකා තීරුබදු යුද්ධ හා වෙළඳ යුද්ධ දියත් කළහොත් චීනය ඊට ප්‍රතිපියවර ගනු ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.