නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ජනතාව කේන්ද්‍ර කර ගත් ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාම සඳහා කැප වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ඔහු මෙම අදහස් පළකළේ දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවෙමින්.
ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කර සිටියේ ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳවයි.
මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළා.
එමෙන්ම ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත් සුදුසු පියවර ගනිමින් සිටින බවයි ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට සහතික වූයේ.
එසේම ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබා දෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.
මෙහිදී ජනපතිවරයා යළි අවධාරණය කළේ වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවයි.
එමෙන්ම දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් පිළිබඳව සඳහන් කළ ගෝපිනාත් මහත්මිය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය ලබා දෙන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.